A B c D E F G

About us

ශ්‍රී ලාංකීය ජන මනස් පුබුදු කරමින් ලාංකීය රේඩියෝ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1989 නොවැම්බර් 03 වැනි දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ්එම් සේවය ලංකාවේ පළමු එෆ් එම් නාලිකාව ලෙස ස්ථාපිත විය.

එවකට සභාපති ව සිටි හඩ්සන් සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ සිටි එෆ්එම් නාලිකාව මුලින්ම ආරම්භ වූයේ, භාෂාත්‍රයෙන් ම ගීත ප්‍රචාරය වූ නාලිකාවක් ලෙසයි.

එෆ්.එම් 89.6 සහ එෆ්.එම් 89.8 අති ප්‍රබල තරංග මාලා ඔස්සේ දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා විසුරුවා හරින අප නාලිකාව ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික, සංගීතමය, රසවින්දනාත්මක,විනෝදාස්වාදජනක හා කාලීන වශයෙන් වැදගත්, ජාතික වශයෙන් වගකීම් දරන තාරුණ්‍යයේ නාලිකාව ලෙස ශ්‍රාවක විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමට සමත්ව ඇත.

මෙරට ශ්‍රී ලාංකිකයන් පමණක් නොව, ලොව පුරා සිටින ශ්‍රී ලාංකීය අසන්නන් www.slbc.lk වෙබ් අඩවියෙන් සහ Slbc App ඔස්සේ සිටි එෆ්එම් නාලිකාවට සවන් දෙන්නේ, එහි ඇති ගුණාත්මකභාවය නිසාමයි.

ආරම්භයේ දී චන්දන තිලකරත්න , සුජීව හරිස්චන්ද්‍ර , මයුරි අබේසිංහ , පුණ්‍යා කුමාරි ලොකුලියන, ස්වර්ණ ගුණවර්ධන, අශෝක කරුණානායක , අජිත් ඉන්ද්‍රජී විජේසේන යන ප්‍රවීණයන්ගෙන් රසවත් වූ සිටි එෆ් එම් නාලිකාවට අරුණ් ඩයස් බණ්ඩාරනායක , රිචඩ් ද සොයිසා , රාජේශ්වරී ෂන්මුගම්, ජයක්‍රිෂ්ණ රාජා වැනි ඉංග්‍රීසි හා දමිළ නිවේදකයින්ගෙන් ලැබුණු ආලෝකය සුළුපටු නොවේ.

ඉතාම ඉක්මනින් ශ්‍රී ලාංකීය ශ්‍රාවකයා අතර ජනප්‍රියත්වයට පත්වූ අප නාලිකාව, අද වනවිට එෆ් එම් 89.6 සහ 89.8 ඔස්සේ ලංකාවම ආවරණය කරමින් අති සාර්ථක වැඩසටහන් පෙළගැස්ම ද සහිතව ඉදිරියට ගමන් කරමින් සිටී. බාල, බොළඳ රසවින්දනය වෙනුවට , අර්ථවත් සන්නිවේදනය තුළින් ජන මනස එකලු කරන අපි, ආරාධනා ස්වර දැහැන , ලස්සන උදෑසන, දස දෙසින් හත, යූ ටර්න් , සවස වෙනස, හතර හය, ශනිදා කරළිය, සිනමා සිටි, මෙලඩි ඔෆ් රිදම්, ජොබ් සිටි, පෝය දින වැඩසටහන් ඇතුළු එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් අර්ථවත් වැඩසටහන් පෙළක වර්තමාන උරුමකරුවන් වන්නෙමු.

එසේම ජාතික වශයෙන් වගකීම් සහිත පූර්වාදර්ශ සපයන තාරුණ්‍යයේ නාලිකාව ලෙසත්, වසර 30 කට වැඩි අභිමානය සහ ජාතික ගුවන්විදුලියේ ප්‍රෞඩත්වයත් ලොව පුරා පතුරුවන ශ්‍රී ලංකාවේ පරමාදර්ශී ගුවන්විදුලි නාලිකාව ලෙසත් අපි ශ්‍රාවක ඔබ සමඟ හදවතින්ම බැඳී සිටින්නෙමු.

About our team

අරුණ එදිරිසිංහ

නියෝජ්‍ය අධ්‍යක්ෂ

අනුෂා ජීවන්ති

සහකාර අධ්‍යක්ෂ

රුචිර සංගීත්

නිෂ්පාදක

සාලිය සෙනෙවිරත්න

නිෂ්පාදක

FIND US ON+